Wednesday, November 27, 2013

අවිද්‍යාව

කාම ලෝකය තුල සිටින සත්වයින් දකින ලෝකය (ගස්, ගල්, ගංගා, ඇළ, දොළ  හෝ සත්වයින්, පුද්ගලයින්  ) සත්‍ය වශයෙන්  පවතින දේ නොව අප විසින්ම අවකාශය තුල, නිරන්තර වෙනස් වෙමින් පවතින ධර්මතා උපයෝගී කොට නිර්මාණය කරගත් මායාවක් පමණි. සත්‍ය වශයෙන් පවතින්නේ ශුන්‍ය තාවයක් පමණි.මෙම ශුන්‍යතාවය අවධාරණයට බිය විය යුතු නොවේ. නමුත් මහායාන පැහැදිලි කිරීම මෙන් ශුන්‍යතාවය තුල මුලා විය යුතුද නොවේ. ථෙරවාද පැහැදිලි කිරීම ශුන්‍යබව දක්වා යන මාර්ගයක් නොව, පවතින දෙය නිවැරදිව විශ්ලේෂණය තුලින් නිර්වාණ  මාර්ගය විවෘත  කරන්නකි. මහායාන දර්ශණය ශුන්‍යතාවය ඉස්මතු කොට නිර්වාණ මාර්ගය යම් තාක් ඇහිරීමක් සිදුකොට ඇත.
     පවතින දෙය නිවැරදිව විශ්ලේෂණය කරන්නේ අභිධර්මය තුලය.අභිධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ ධර්ම 82 පිලිබදව හොඳ වැටහීමක් තිබිය යුතුය.මෙම පරමාර්ථ ධර්ම 82 උපයෝගී කොට ගැනීම සිදු කරන්නේ ඉන් ඔබ්බට ලෝකය හෝ සත්වයා බෙදීමට යාමෙන් ශුන්‍යතාවය තුල මුලා වන බැවිනි. එහි කිසිදු ප්‍රයෝජනයක් නොමැත.
පවතින සත්වයා කව්රුන්ද ?
     පූර්ව භවයේ සිදුකල කර්ම විපාකයක් ලෙස ප්‍රතිසන්ධි සිත සමගම ඇතිවන නාම, රූප හා මහභුත රූප ඇසුරින් ගොඩ නැගුන ශරීරයක්  හා නාම ධර්ම 52 හා විඤ්ඤාණය පුද්ගලයා වේ. මෙම පුද්ගලයා අවට ඇති වෙනස් වන ධර්මතා තුලින් ඉන්ද්‍රිය 6 උපයෝගී කොටගෙන කාම ලෝකයක් ඇතිකර ගනී. ප්‍රඤ්ඤාව තුලින් තොරව ප්‍රඤ්ඤාප්තිය තුල වෙනස්වීම කිසිසේත්ම දැකිය හැකි නොවේ. අප සතු ඉන්ද්‍රියන් නොවෙනස් රූප  මවා දෙනවා මිස කිසි විටකවත් සත්‍ය වෙනස්වීම දර්ශණයට ඉඩ නොදේ. ඇස මගින් අප ඉදිරියේ පවතින රූප , පවතින රූප ලෙසම දක්වනවා මිස එහි දිරායාම හෝ නිරන්තර සිදුවන වෙනස් වීම අපට දර්ශනය කරන්නේ නැත.
      උදාහරණයක් ලෙස අප ඉදිරියේ ඇති පුටුවක් ගනිමු. ඇස මගින් අපට පුටුවක රූපයක් දැකිය හැකිය. එම පුටුව අපට අතින් ස්ඵර්ෂ කල හැකි යයි අප සිතයි. නමුත් අප ඉදිරියේ සත්‍ය වසයෙන් පවතින්නේ ලෑලි කැබලි කිහිපයක් පමණි. ඇසට පෙනෙන රූපය අප ස්ඵර්ෂ කලද, පුටුවයයි සිතන අප ඉදිරියේ ඇති සම්පුර්ණ රූපයද එකවර ස්ඵර්ෂ කල නොහැක.අප ස්ඵර්ෂ කරන්නේ ලෑලි කොටසකි. එම කොටස වෙන් කළහොත් එහි පුටුවක් නැත. අතට දැනෙන්නේ ලෑල්ලේ තද බව (පටවී, තේජෝ , වායෝ) පමණි. සම්පුර්ණ පුටුවක ආක්කෘතිය ඇසට නොපෙනුනද හැඩය තුලින් පුටුවක් මවා ගැනීම අප සිදු කරගනී. අප ඉදිරියේ ඇති ලෑලිද යම් දිනක දිරා ගොස් මහා භූත බවට පත්වේ. මෙම දිරීම නිරන්තර සිදුවන දෙයක් මිස අද පැවති  දෙය හෙට දිරායමක් නොවේ. එනම් ලෑලි කැබලි නිරන්තරයෙන්ම වෙනස් වේ. එය අවට ඇති අන් සියල්ලද නිරන්තර වෙනස් වේ.අප සතු ඇස මගින් ලෑලි රූපය අනෙකුත් රූප වලින් වෙන් නොකරන්නේ නම් පවතින්නේ වෙනස්වීමක් පමණි. එනම් සිත තුල ඇති පුටුව ඇස නිර්මාණය කර දෙනවා (ඇස නැත්නම් ඇත්තේ වෙනස් වීමක් පමණි) මිස අප ඉදිරියේ පුටුවක් නැත.අභිඤ්ඤා ලාභියෙකුහට අප ඉදිරියේ ඇති පුටුව හරහා ගමන් කල හැක්කේ එහි පුටුවක් සත්‍ය ලෙසම නොපවතින නිසාය.
     තවදුරටත් මෙය විස්තර කරන්නේ නම් ඇසට පෙනෙන රූපය මම දකිනවා ලෙසත් ශරීරයට දැනෙන රූපය මට දැනෙන්නේයයි  ගැනීම හැර සත්‍ය වශයෙන් මම යයි පුද්ගලයෙකුද නැත.මෙම දැනීම් සිදුවන්නේද බාහිරව අපට දර්ශනය වන මහාබූත වලින් සැදී රූපයට නොව පරමාර්ථ රූප 28 තුල ඇති අපට දැකිය නොහැකි වෙනත් රූප (මහාබූත සමග මිශ්‍රව ශරීරයේ ඇති ) මගිනි. ඉන්ද්‍රිය 6 මගින් වෙන් වෙන්ව අරමුණු ගැනීමක් සිදුවේ. මෙම අරමුණු සියල්ල එකතු කර ලෝකය සාදන පුද්ගලයාම මම වේ. මේ සියල්ල සිදු කරන්නේ ප්‍රතිසන්ධියේදී ඇති උන භවාංග චිත්ත පරම්පරාව (වෙනස් වීමෙන් ) තුලිනි. මෙම භවාංග චිත්ත පරම්පරාව අප මෙම කාම භවයෙන් චුත වන තුරු ඉන්ද්‍රිය තුලින් අරමුණක් නොගන්න සෑම විටම ඇතිවෙමින්/නැතිවෙමින්  නාම /රූප පරම්පරාව පවත්වාගෙන යයි. මෙම භවාංග චිත්ත පරම්පරාව නොදැනෙන/නොපෙනෙන නිසාම පුද්ගලයා, මම ලෙස මුලාව ඇති කරගන්නේද මෙම භවාංග චිත්ත පරම්පරාවම යයි සිතමි.
      අප අවට ඇති ලෝකයේ වස්ථූන් නොපවතිනවා පමණක් නොව එම වස්තුන් තුල ඇතැයි අප සලකනු ලබන ගුනද සැබෑවටම  එම වස්ථූන් තුල පවතින ගුණ නොවේ. ඒවාද චිත්ත පරම්පරාව තුලින් අපම ඇති කරගන්නා මායාවල් (කෙලෙස් ) පමණක්ම වෙයි.එසේ දකින ඇතිකරගන්න ගුනද නිත්‍ය නොවන අතර ඒ ඒ හේතු නිසා චිත්ත පරම්පරාවේ සිදුවන වෙනස්වීමක් පමණි.
     උදාහරණයක් ලෙස කාමයට ලැදී පුරුෂයෙක් කාමරයක් තුල සිටින විට අඩ නිරුවත් සුරූපී තරුණියක් දොරින් ඇතුළු වන්නේ යයි සිතමු. ඔහු රූපය දකින විටම (අරමුණු කරන විටම) ඔහුගේ ශරීරයේ මහත් උද්දීපනයක්  ඇතිවේ. (අරමුණු ගැනීම සමගම නාම රූප  ඇතිවේ). දැන් එම තරුණිය ඔහුව ස්පර්ශ කරන්නේ නම් එවිට එම ස්පර්ශයෙන් ඔහුට පෙරටත් වැඩි මහත්  උද්දීපනයක් ඇති කරයි. ඔහු එම තරුණියගේ රූපය තුල බොහෝ දේ ඇතැයි වරදවා දකී. මෙම වැරදි දැකීම මගින් ඔහු තුලම නාම රූප උපදවා ඔහුට මෙම  උද්දීපනය දැනෙන බව ඔහු නොදනී. මෙවිටම එම තරුණයාගේ බිරිද දොර තුලින් ඇතුළු වනු ඔහු දුටුව හොත් (අරමුණු ගැනීම සමගම) ඔහුට පෙර දැනුන ස්පර්ෂ දැන්  නොදැනේ. (නාම රූප වෙනස් වී ඇත.)බිරිය යන අරමුණ ඔහු තුල ඇති දැනුම (සංඤ්ඤා ස්කන්ධය )සමග එක්ව ඔහුට පෙර ස්පර්ශයන් දැනුන ශරීරයම වෙනස් කර ඇත. එකම ශරීරය (පෙනෙන දෙය) හේතු වෙනස් වීම පමණකින්ම වෙනස් ලෙස හැසිරේ!!. මෙයින් පැහැදිලි වන්නේ පෙර තරුණිය තුල ඇති යමක් ඔහුට  උද්දීපනයක් ඇති නොකළ බව හා බිරිය දැකීමෙන් ඇය තුල ඇති යමකින් එය වෙනස් කල බවක් නොවේ. තරුණියගේ පියා /සහෝදරයන් හෝ ඇයගේ තරහකරුවන් තුල ඇය පෙර තරුණයා තුල ඇති කල  උද්දීපනය ඇතිනොකරන බැවින් ඇය රාගය ඔහු තුල ඇති නොකළ බව දත යුතුය. ඇයගේ රූපයට රාගය ඇති කල හැකිනම් සැමවිටම සැමදෙනා තුලම රාගය ඇති කල යුතුය. බිරිය දැකීමෙන් පුරුෂයා තුල බිය ඇති කරන්නේ නම් එය නිවසේදී හා අන් සෑම තැනකම සිදුවිය යුතුය.පවතින්නේ එකම සහ පෙනෙන ශරීරය පමණක්ම නම් මෙම හේතු නිසා ඔහු තුල වෙනස්, වෙනස් දැනීම් ඇති නොකළ යුතුය. මේ සියල්ල සිදු කරන්නේ වින්ඤ්ඤානය අරමුණක් ගැනීම සමගම නාම  රූප ඇතිවී අප දකින රූපයද( බාහිර) වෙනස් කරන නිසාය. වින්ඤ්ඤානයට නාම රූප ඉපදවිය හැකි බවය!!.
     ඉහත දැක්වූ  ලෙස සිතෙහි ඇතිකරගන්නා රූප, බාහිර ලෝකයේ සැබෑවටම ඇතැයි ගැනීම හා සිතෙහි ඇතිවන කෙලෙස් එම රූප වල ඇති ගුණ (හොඳ හෝ නරක )ලෙස ගැනීම අවිද්ද්‍යාව නිසාම ඇති වන්නා වූ වැරදි අවබෝධයන් පමනි. අප මහා බුදු රජාණන්වහන්සේගේ ධර්මය දැකීම නම් මෙම වැරදි අවබෝධය නිවැරදි කරගැනීම වේ.
       මේ ආකාරයෙන් අවිද්ද්‍යාව නැති කර ගැනීමෙන් පමණක් පෙර භවයේ විපාකයක් වූ භවාංග චිත්ත පරම්පරාව හා එක්ව අළුත්  අළුත් අරමුණු තුලින් අළුත්  අළුත් භවයන් ඇති කර ගැනීම නැවතීමද කල නොහැක. මෙම දර්ශනය තුලින් කෙලෙස් තුනී වන නමුත් ප්‍රහානයක් සිදු නොවේ. කෙලෙස් ප්‍රහානය සදහා තමන්ගේ ඇති බහුල කෙලෙස් නිවැරදිව වටහාගෙන ගැලපෙන විදර්ශනා වැඩීමක් කල යුතුය. අනුමාන දැනුමෙන් පමණක් ඉහත දර්ශණය ලබාගන්නා අයද බොහෝ ප්‍රවේසම් විය යුතුය. අභිධර්මය පිළිබඳව මනා වැටහීමක් නැති විට ඉහත පැහැදිලි කිරීම් තුලින් ශුන්‍යතාවය තුල මුලා වීමක් (මහායාන දර්ශනයේ මෙන්) බොහෝවිට සිදුවිය හැක. එසේ නැතහොත් ප්‍රඤ්ඤාප්තිය ගැන සිතන විට ඇතැමෙකුට ධර්මය නීරස වීමද සිදුවිය හැකිය. තමන්ට නොවැටහීම නිසාම විකාරයක් ලෙස පෙනීමද විය හැකිය . වර්තමානයේ බොහෝ සේ මුලාවට පත්ව විෂම ලෝභය, ඉර්ෂ්‍යා, මද, මාන අවිද්‍යාවෙන් හෙම්බත්ව ඇති බහුතරයක් මුලදී මෙහි නීරසම නොදුටුවහොත් එයම මහත් පුදුමයකි. එමනිසාම අපට දකින ලෝකය ගැන නිවැරදි වැටහීමද අත්‍යාවශ්‍ය වේ. මේ සදහා අභිධර්මය මනාව හැදෑරීම, අවබෝද කරගැනීම අත්‍යාවශ්‍ය වේ.ඉහත සදහන් අවිද්‍යා දුරලීම තුලින් අරබා වේගයෙන් නිවන කරා ගෙන යාමට දරන ලද උත්සාහයන් තුල මහායාන වැනි දර්ශනයන් පසු කාලීනව ඇති වූවාද ආදිය පිළිබදව මනා අද්යනයක් කලයුතු අවස්ථාවක අපි සිටින්නේ යයි මම සිතමි. මෙවැනි බොහෝ දර්ශනයන් අබිධර්මය සමග ගැටීමද අප විසේසයෙන් අවදාරණය කරගත යුතුය. මෙහිදී අප අවභෝධ කොට ගත යුතු අනෙක් කරුණ වන්නේ අප මහා බුදු රජාණන් වහන්සේ පමණක් සතුවූ දේශනා හැකියාව, අනෙකාව නිවැරදිව දැක ඔහුට අවශ්‍ය දැනුම ලබාදීමේ හැකියාව ආදී බොහෝ දේ අප සතුව නැති (මෙහි නැති බව යනු සැලකිය යුතු ප්‍රමානයටවත් නැති බව වේ) බවය. මෙම ලිපිය නිවැරදි ලෙස පැහැදිලි කර ගැනීමට නම් කියවන ඔබ මෙහි අවධාරණය කර ඇති කරුණු පිලිබන්ධව මනා අධ්‍යනයක් කර තිබිය යුතුය. එසේ නැතිනම් අද පටන් හෝ එය ආරම්භ කල යුතුය. අප සම්මා සම්බුදුරජානන්වහන්සේ දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය තම තමන්ම දැක අවබෝධ කරගත යුතු දහමකි.  සම්මා සම්බුදුරජානන්වහන්සේද ඇතුළුව අන් ඕනෑම බාහිර පුද්ගලයෙකුට කල හැක්කේ ඔබට මග පෙන්වීමක් පමනි. මෙවන් ලිපියක් කියවීමෙන් ලබන අනුමාන දැනුම සහ ප්‍රත්‍යක්‍ෂ දැනුම අතර බරපතල ගැඹුරක් සහ වෙනසක් ඇති බව අවධාරණයෙන් සදහන් කල යුතුය. මෙම ප්‍රත්‍යක්‍ෂ දැනුම ලැබීමට නම් අභිධර්මය පිලිබන්ධව මනා දැනුමක් තිබිය යුතු අතරම ඔබ ශීල, සමාධි, ප්‍රඤ්ඤා මාර්ගය වැඩිය යුතුය. අවම වසයෙන් ශීලයක පිහිටා සමථ භාවනාවක යෙදිය යුතුය (සමාධි, ප්‍රඤ්ඤා වැඩීම මෙයින් සිදුවේ). මෙම ප්‍රත්‍යක්‍ෂ දැනුම ලැබීමට අවශ්‍ය කරන සම්මා සමාධිය වර්තමාන බොහෝ සම්මත උගතුන්ට නැත. ඔවුන්ගේ පැහැදිලි කිරීම් ධර්මය පිළිබඳව මතුපිටින් ස්පර්ශ කිරීම් පමණක් බව කරුණාවෙන් සලකා මෙම කරුණු පිලිබන්ධව නැවත නැවත ඉතා ගැඹුරින් සිතා බලත්වා!!.
      වර්තමානයේ ඉතා සුළු වශයෙන් නමුත් මෙම අවිද්‍යාව නිවැරදිව මතු කර විග්‍රහ කිරීමට සමත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් හා ගිහි භවතුන් කිහිප දෙනෙකු හෝ සිටිනු දැකීම ඉමහත් සතුටට කරුණකි. නමුත් වර්තමානයේ බොහෝ පිරිසක් ථෙරවාදීයයි කියමින් ප්‍රඤ්ඤාප්තිවාදීන් (ප්‍රඤ්ඤාප්තිවාදීන් යන්න පහල විග්‍රහ කර ඇත) බවට පත්වී ඇති ආකාරයෙන්ම ආරම්භයේදීම නිවැරදිව ථෙරවාදී දර්ශනය පිළිබදව මනා හැදෑරීමක් හා වැටහීමක් ඔබ තුල ඇති නොකර ගන්නේ නම්, ඔබ නැවතද මහායාන හෝ වෙනත් එවැනි දර්ශනයන් තුල මුලා වීමද සිදු විය හැකිය. කෙසේ වෙතත් රජය හෝ වෙනත් ආයතනයක් (රාජ්‍ය ) බෞද්ධයන්ගේ අවශ්‍යතා වටහාගැනීමක් හෝ ඒ සදහා වන අවශ්‍යතාවක් නොපෙනේ. එම ආයතන වල සිටින සාම්ප්‍රදායක උගතුන්ට හා  බුද්ධිමතුන්හට ඒ සදහා වන වැඩපිළිවෙලක් නොමැති බවද අප අවධාරණය කරගත යුතුය. මෙවන් වැඩපිළිවෙලක් සකස් වීමට නම් ඔබ විසින්ම නිවැරදි මග ගමන් කිරීම අරබා සමාජය දැනුවත් කල යුතුයයි මම සිතමි. අනුන් කර දෙනු ඇතැයි බලාසිටීමෙන් ඔබත් ඔවුනුත් ප්‍රමාදීන් වීම පමණක් සිදුවේ. ඔබට කල හැක්කේ ඔබ අප්‍රමාදී වීම පමණි!!.
දැනුම ලබාගත් මාර්ග.
1) අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහතෙරුන්වහන්සේ විසින් රචිත මාහැගි ග්‍රන්ථ රත්නයන්. (http://www.rerukanemahanahimi.lk/)
2)අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන මහනාහිමිපාණන්වහන්සේ. (www.venerablesudassana.org)
3)මහාචාර්‍ය නලින්ද සිල්වා (www.kalaya.org)
ප්‍රඤ්ඤාප්තිවාදීන්
ප්‍රඤ්ඤාප්තිවාදීන් විශ්වාස කරනුයේ නිර්වාණ මාර්ගය නිත්‍ය ලෙස හා වෙනස් නොවන ලෙස පවතින දෙයක් ලෙසට හා  (අත්මවාදී වීමක්ද ඇත) එම මාර්ගය කිසිලෙසකින් මගහැරීයාමක් හෝ නැතිවීමක් සිදු නොවන බවය. ඔවුන් සමාධිය තුලින් (භාවනාව තුලින්) මාර්ගය වැඩිය යුතතක් සේ නොදකී. පින් රැස් කිරීම මගින් හා බොහෝ දැනුමක් ඇතිකරගැනීම තුලින්ම නිර්වාණය ලැබිය හැකියයි ඔවුන් සිතයි. නිර්වාණ මාර්ගය ලැබීම හෝ මරණයට පත්වීම හෝ පින් සහ කර්ම විසින්ම සිදුකරන්නක් සේ දකී .
(මෙම දර්ශණය අප සමාජය තුල කොතරම් මුල් බැසගෙන ඇතිද යනවග හා මෙහි සැබෑ මුලාව පිළිබඳව දීර්ගව සාකච්චා කල යුතුය. විවේකයක් ලද හොත් ඉදිරියේදී ඒ පිළිබඳව විමසීමක් කිරීමට අදහස් කරමි.)

No comments:

Post a Comment